වමක් නැති රට.

imagesමීට සති කිහිපයකට පෙර හිටපු ජවිපෙ නායක සෝමවන්ශ අමරසිංහ මහතා මියගියේය. සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් ලෙස පාසැල් සිසුවෙකුගෙන් ලංකාවේ සිටින / හිටපු වාමාන්ශික දේශපාලඥීන් කිහිප දෙනෙක් නම් කරන්නට කිවහොත් බණ්ඩාරනායක, විජේවීර නම් සමග සෝමවන්ශගේ නමත්  කියවේවි. ඒත් මේ එක් අයෙක් වත් සැබෑ වාමාන්ශිකයන් ද? එහෙම නැත්තම් හුදු අවස්ථාවාදී කුහක දේශපාලනඥීන් ද?

සෝමවන්ශ මහතා මියගියේ බදාදා දවසකය. ඒ රජයේ කන්තෝරු,  දේශපලනඥීන් නින්දෙන් කූද්දමිනි. සෝමවන්ශට පහුගිය දින 364ම හූ කියපු මේ උදවිය ඒ බදාදා නරක හීනෙකින් නැගිටලා මෙන්  ශෝක පනිවිඩ සකස් කලහ. “ලාංකීය දේශපාලනයේ වාමාංශික රන් සලකුණ, ඉන්ද්‍ර ඛීලය, ඇත් ගොවුවා – නෑ නෑ ඇත් ගොවුවා හරියන්නේ නෑ ඒක කපන්න, ලක් වාමාංශික සයුරේ එඩිතර තොටියා” දේශපලනඥීන් ගේ පොදු සබදතා ලේඛම්වරු හරි හරියට ශෝකප්‍රකාශ ලිවුවේ දත් මිටි කමිනි. ශෝකප්‍රකාශ හුදෙක් protocol එකකි. Protocol තිබිය යුතුය. Protocol අප  ශිෂ්ඨ සම්පන්න මිනිසුන් කරයි. අප හැසිරීමට යම්කිසි වෘත්තීමයත්වයක් ලබාදෙයි. එහෙත් ලාකිකයන්ට සංස්කෘතිකව ජාන ගතවී ඇති දේශපලන ඇම්නීසියාව නිසා, බොහොවිට දේශපාලන ඉතිහාසයකට කියා අපට ඉතිරි වන්නේ protocol ඉතිහාසයක් ය: protocol ශෝක පණිවිඩය.වන්දිබට්ටන් විසින් ලියවුනු ගුණ වර්ණනා පොත් ය.

ඒ බදාදා protocol නොතිබුනානම් අපිට සෝමවන්ශ ගැන  ඇත්ත කතා කරන්නට තිබුනි. සෝමවන්ශගේ දේශපාලනයට මට ගරු කරන්නට නොහැකිය. ඒ මන්ද යත්, ලාංකීය දේශපාලනයේ පදනම් ගලක් වන දේශපාලන කුහකකම ඔහුගේ දේශපාලන ඉතිහාසය පුරාම ලියවී ඇති නිසාය. ධනවාදයට එරෙහිව අපි අරගලයක් කරමු කියල අමාරුවෙන් කැම්පස් තේරුනු ළමයින්ට කියල, ඒ කොල්ලො කෙල්ලො අරගලයෙන් මැරෙද්දී, සෝමවන්ශ පැන්න ලෝකේ තියන ධනවාදීම රටකට: එන්ගලන්තෙට. ඊට කාලෙකට පස්සේ ලංකාවට ආපු සෝමෙ, ලංකාවේ වාමාන්ශික දේශපාලනය වෙනුවෙන් වැඩිදෙයක් කලේ නැහැ. ලංකාවේ බහුතරයක් දේශපලනඥීන්ට වගේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න සෝමවන්ශට උවමනාවක් තිබ්බේ නැහැ. දශක ගාණක් දේශපලානයේ හිටියත් “මෙන්න සෝමවන්ශ කරපු දෙයක්” කියල පෙන්නන්න දෙයක් ඔහු ඉතුරු කලේ නැහැ. ඔහු තනි නෑ. අවුරුදු ගාණක් රටේ මිනිස්සුන්ගෙ කාලෙ, බදු සල්ලි නාස්ති කරල ඔහේ මැරිලා යන දේශපලනඥීන් දාස් ගාණක් පහුගිය සතවර්ශෙ බිහිවෙන්නට ඇති. දේශපාලනඥයෙක් විදිහට ගරු කරන්න නොහැකි වුනත්, එක් පැත්තකින් මම සෝමවන්ශ අමරසිංහට ගොඩාක් ගරු කලා: සහෝදරයෙක් විදිහට. නෑ මම කියන්නෙ මේ ජවිපෙ කොල්ලො කෙල්ලො කියනවා වගේ “සහෝදරයෙක්” විදිහට නෙමෙයි. ඔහුගෙ අක්කට සහෝදරයෙක් විදිහට.

මට මතකයි මීට අවුරුදු කිහිපයකට කලින් සෝමවන්ශගෙ අක්කා මාර්ගයෙන් ඔහුට මඩ ගහන්න දේශපාලන set up එකක් කරල තිබ්බා ඇය ගණිකා මඩමක් පවත්වගෙන යනව කියල. දේශපාලනයේ ඇතුලේ ඉන්න අය මේකේ ඇත්ත නැත්ත දැනන් හිටියත් පොදු ජනතාව බොහෝ දෙනා මේ කතාව පිලිගත්ත. මේක සෝමවන්ශට බොහොම අසීරු අවස්ථාවක්. දේශපාලන PR angle එකකින් බලද්දී ඒ අවස්ථාවෙ සොමවන්ශට තිබුන විකල්ප දෙකක්. එකක් තමයි මේක වුනේ නැහැ වගේ ඉන්න එක. කාලයක් දෙයක් පසෙකට දාලා තිබ්බොත් ඒක මිනිස්සුන්ට අමතක වෙනව. අනිත් විකල්පෙ තමයි  “ඔව් අපි හැමෝගෙම පවුල්වල අපි කැමති අකමැති පුද්ගලයො ඉන්නවා” කියලා තමන්ගෙ සහෝදරිය කරපු දේ හෙලා දකින එක. එහෙම කරන එක සෝමවන්ශට දේශපාලනඥයෙක් විදිහට ලේසී. අනික එහෙම කරාම ඕක ඔතනින් ඉවරයි. ඒත් සෝමවන්ශ හොඳ සහෝදරයෙක් විදිහට එහෙම කලේ නැහැ. ඔහු තමන් ගෙ සහෝදරිය වෙනුවෙන් නැගී සිටිය. “එයා තවමත් මගේ අක්කා” සෝමවන්ශ එදා එහෙම කිව්වෙ ඇස්වල කඳුලු පුරෝගෙන. එහෙම ලෙන්ගතු, ප්‍රතිපත්ති ගරුක මිනිස්සු අඩුයි. ඉතින් ඇත්තම කිව්වොත්  ලාංකික දේශපාලනයේ ඉන්න බොහෝ අයට නැති පිට කොන්දක් දේශපාලනඥයෙක් විදිහට නැති වුනත්, මනුෂ්‍යයෙක් විදිහට  සෝමවන්ශ අමරසිංහට තිබුනා.එහෙම මිනිස්සු අඩුයි. ලංකාවෙ ඉන්නවා ඕනතරම් මිනිස්සු, පෝඩියම් උඩ, කාන්තා අයිතිවාසිකම් ගැන දේශනා පවත්වල ගෙදර ඇවිල්ල නංගිට බිරිඳට ලිංගවාදී කුනුහරුප වලින් බනින, ගහන අයියල, මහත්වරු. කාන්තා, සමාජ යුක්තිය ගැන කතා කරල සල්ලි හෙව්වට තමන්ගෙ කෙනෙකුට  සමාජ අසාධාරණයක් වුනාම වචනයක් නොකියන NGO කාක්කො. දේශපානඥයෙක් විදිහට කොච්චර අඩුපාඩු තිබුනත්, මනුශ්‍යෙක් විදිහට ගරු කරන්න පුලුවන් මනුශ්‍ය සංයමයක් සෝමවශට තිබුනා. ඔහු ඔහුගේ ප්‍රතිපත්තිය ආගමක් වගේ ඇදැහුවා. අපේ රටේ ඒ වගේ පිට කොඳු තියන මිනිස්සු බොහොම අඩුයි. සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වට දියවැඩියාව හා හෘද රෝග ලංකාවේ තියෙන සුලබම රෝගීතත්වයන් කියල, මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ට වැඩිපුරම වැලදිලා තියෙන්නෙ කොන්දෙ අමාරු කියලා. බොහෝ මිනිස්සුන්ට දේශපාලනය ඉදිරියෙ කොන්ද පණනැතිව යනවා, අනිත් සමහරුන් පූරුවෙ කරුමෙකටද කොහෙද පිට කොන්දක් නැතුවම ඉපදෙනව. ශක්තිමත්, ප්‍රතිපත්තිගරුක මිනිස්සු නැති රටක වමක් නැති වීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

ඉතින් protocol අමතක කරල අවංක හිතින් මම සෝමවන්ශගෙ ශෝක පණිවුඩේ ලිව්වානම් මම ලියන්නෙ නැහැ ඔහු ලක් වාමාන්ශික සයුරේ එඩිතර තොටියෙක් කියලා (ඇත්තටම කිව්වොත් සෝමවන්ශගෙ දෙශපාලනේ අන්තිම කාලේ රුවල් හැලුනු ඔරුවක් වගේ සෝමාලියව පැත්තට පා වෙමින් තිබුනෙ.) ලියනවා දේශපානඥයෙක් විදිහට කොච්චර අඩුපාඩු තිබුනත්, මනුශ්‍යෙක් විදිහට ගරු කරන්න පුලුවන් මනුශ්‍ය සංයමයක් සෝමවශට තිබුන බව. ඔහු අපේ රටේ ඉන්න අන් බෝහෝ වාමාන්ශිකයො වගේම කුහුක දේශපාලනඥයෙක්. මල ගෙදර ආපු අනිත් හැමෝමත් නොකිව්වට ඕක් දැනගෙන හිටිය. ඒත් සංස්කෘතික  protocol  නිසා හැමෝම ඕක හිතේ තදකරන් දත් මිටිකාගෙන එතුමගෙ වාමන්ශික එඩිතර බව ගැන වැලවටාර ගෙතුවා. දේශපාලනයෙ මුහුණ දෙන බොහෝ වෙනත් අවස්ථා වගේම දේශපලන අවමගුලුත් තනිකර ප්‍රෝඩාවක්.

ඇත්තටම දේශපාලන වම යනු කුමක්ද? වාමාංශික දේශපාලනය බොහෝ විට සමාජ අසමානතාවන්ට විරුද්ධ, සමාජ සමානතාන්ටවන්ට සහාය දෙන ඒ වෙනුවෙන් පෙනී සිටීන දේශපාලන ව්‍යාපාරයකි.   සැබෑ වාමාංශිකයින් සමානාත්වතාවයේ අභිප්‍රායෙන් ආයතනික හා ධනපති පංතියේ අසාධාරණකම් වලින් කම්කරුවන් ආරක්‍ෂා කිරීම සඳහා   වෘත්තීය සමිති බල ගැන්වීම, කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින්. සමාජ අසාධාරණයන්ට ලක්වන කාන්තාවන්, සමලිංගික, ද්වෛලිංගික වෙනත් ලිංගවලට අයත්වන ප්‍රජාව, සුලු ජාතීන් ඇතුලු, සියලු සමාජ සුලුතරයින් වෙනුවෙන් පෙනී සිටි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ රටක ප්‍රමුකත්වය ගත යුත්තේද වාමාංශිකයිනි.

දකුණේ සිටගෙන වමේ ප්‍රතිපත්තීන් දේශනා කල සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක කතා කරේ දේශීය  යාන්ත්‍රනයකින් රට දියුනු කිරීම පිලිබඳවය. “සගරදගුරු- ගොවිකම්කරු” දැක්මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ස්ථාපිත කල ඔහුට හිටපු  කොළඹ ආණ්ඩුකාරතුමාගේ වෙස්ට් රිජ්වේ නම ලැබුනේ අප රට යටත් කරන් සිටි සුද්දන්ට ගෞරවයක් ලෙසය. ධන හා පන්ති සමානාත්වතාව මුල් කරගත් සමාජවාදී දර්ශනයක් මත ගොඩ නැගුනු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වූ ඔහු ජීවත් වුනේ අක්කර ගාණකින් වට වූ හොරගොල්ල වලවුවේය. වාමාන්ශිකයෙක් නොවුනත්, “සුද්දගෙන් අප බේරාගත් උතුම් සිහලයා” ලෙස protocol ඉතිහාසය විසින් හඳුන්වන ඩී. එස්. සේනානායක් මැරුණේ මනුශ්‍යයෙකුට මැරිය හැකි ඉන්ග්‍රීසිම විදිහටය ; ඒ අශ්වයෙකු පිටින් වැටීය.

දේශපාලන කුහකකම අපේ මුතුන්මිත්තන් ගෙන් අපිට උරුම්වුනු දෙයක්. මේ සින්හල අපේ රට කියලා කෑ ගහගෙන, අනිත් භාශා අයින් කරලා,සින්හල රාජ්‍ය භාශව කරලා, අපේ යුද්ධෙට මුල්ගල තිබ්බ, SWRD (Solomon West Ridgeway Dias), බණ්ඩාරණායකට ඒ නම ලැබුනේ, අපේ රට ආක්‍රමනය කරල අපේ මිනිස්සු වහල්ලු කරගෙන, හිටීය සොලොම වෙස්ට් ඉන්ග්‍රීසි ආණ්ඩුකාර තුමාට ගෞරවයක් විදියට. රටට තිබ්බ ආදරේට, රාජ්‍ය බාසා නීති වෙනස් කරන්න මහන්සි වුනු එතුමට, නම වෙනස් කරන්න අමතක වෙන්න ඇති. ධනවාදයට, බටහිරට එරෙහිවමැයි දින රැලිවල කෑ ගහපු වීරවංශ, කොණ්ඩෙ කැපුවෙ හිල්ටන් එකෙන්, වයිෆ්ට ලන්ඩන් යන්න පාස්පෝර්ට් දෙකයි, ළමයි ගියෙ ඉන්ටනැශනල් ස්කූල්, ඒත් ඔවුන් එක්ක පෙලපාලියෙ පසුපෙලේ ගිය ජවිපෙ සහෝදරයො ටික කවදත් පාරේ. මහින්ද ලොකුවට විවෘත කරපු මහාමාර්ග හදන්න වහල් පඩියට, ගිණියම් අවුවේ මහවරුසාවෙ, කරගැටි පැලෙනකම් පොලොව කෙටුවේ,පෙනහැලි කලුවෙන දුමාරේ තාර දැම්මේ, අපේ අහිංසක කම්කරුවො. ඒත් මහින් ද කිව්වේ එයා රට හැදුවා කියලා. යුද්ධ කලේ, යුද්ධෙන් මැරුනෙ, අහින්සක තරුණ ළමයි. ඒවුනාට විරුදිනයට ගෝල්ෆේස් එක වටේ යුධ ටැංකියක හිටගෙන හැමෝටම පේන්න රවුමක් ගිහින් මහින්ද “රට බේරාදුන් වීරයා” වුනා. ලුතිනල් කර්නල් කාලේ යුද්ද කරන්න බරුව, ඇමරිකාවට පැනලගිය ගෝටාභය, යුද්ධේ ඉවරවුනාට පස්සෙ Gota’s War කියල පොතක් ලියෙව්වා. අපේ රට ආක්‍රමනය කරල අපේ මිනිස්සු වහල්ලු කරගෙන අපේ තිබ්බ තේ කෝපි රබර් පොල් මුතු මැණික් විකුනල ලාබය උන්ගෙ රාජධානියට යවපු ඉන්ග්‍රීසි  රජපල්වුලෙ චාල්ස් කුමාරය CHOGM එකට ලන්කාවට ආවහම, ඔහුට සලකන්න හෝටල් බිල් ගෙවන්න, පාරවල් කාපට් කරල රතුපල්ස් එලන්න, යන්න එන්න රෝල්ස් රොයිස් ගෙන්නුවේ වෙන රට වලින් ණය අරන්. ඉංග්‍රීසි රජ පවුලෙ අයට කොලොඹ ඉඳන් සමාජවාදී රාජපක්ස ආවතේව කරද්දි, අනුරාධපුර පොලොන්නරුවෙ අපේ මිනිස්සු නියගය නිසා වතුර නැතුව දුක් විනදා. හේන් පාලුවෙලා මාසගනන් හරියට කන්න නැතුව හිටිය.CHOGM කාලෙ නියන් පැත්තට වතුර බවුසර් ආවෙ සතියට එකයි, නැත්තම් දෙකයි. පීඩිත පන්තිය වෙනුවෙන් නැගී හිටින අපේ උතුම් සමාජවාදී වාමාන්ශිකයො . අපේ රටේ කාලයක් තිස්සේ හිටපු වාමන්ශිකයො බොහෝදෙනෙක්ගෙ ප්‍රතිපත්ති තිබ්බේ ධනවාදී දකුණෙ. ඕකට තමයි වාමාන්ශික කුහකකම කියන්නෙ.

2015 වන තෙක් අප රට පාලනයේ කෙරූ සියලු නායකයන් දේශපාලන ප්‍රභූ පවුල්වලට සම්බන්ධකම් තිබූ පුවර බබාලා වීමත්, අප රටේ කවදාවත් ශක්තිමත් වමක් තිබ්බාද යන්න හිතන්නට හේතු සාදකයකි. ලංකා ඉතිහාසයේ පලමු වරට වැඩ කරන පන්තියේ ග්‍රාමසේවක මට්ටමේ සිට රජයේ උසස්ම නායකත්ව තනතුර ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව යන සියුම් පන්තිවාදී ප්‍රහාරයන් ගැන සමාජයේ ඇති නොසැලකිල්ලත් අප රටේ වමක් නැති බවට තවත්  නිදසුනකි.පන්තිවාදය දකුණු අන්තවාදීන්ගේ න්‍යාය පත්‍රයේ කොටසකි. ලක් දේශපාලන භූ තලයේ ඇත්තේ දකුණක් පමණක් වීම නිසා පන්තිවාදය, දේශපාලනයේත්, රාජ්‍ය පර්පාලනයේත්, සමාජදේශපාලනයේත් සුලබව දැකිය හැක. මේ සතවර්ශයේ පන්තිවාදය නව මුහුණුවරක් ගනී. ඉස්සර පැවති කුලවාදය හා වලව්වාදය වෙනුවට දැන් පාසැල්වාදය හා භාශාවාදය පැමිණ ඇත. දැන් උසස් තනතුරු සදහා පුද්ගලයින් නම් කරද්දී සුදුසුකම් සියල්ලටම වඩා පාසැල වැදගත් වේ. මේ වර්ගයේ පන්තිවාදය දක්ශිණවාදී දේශපලන අන්තයක ලක්‍ශණයකි.විනයගරුක දේශපාලන දකුණක් රටක  ඇතිවීමටනම් ඒ රට තුල ශක්තිමත් වමක් ද තිබිය යුතුය

වමක් නැති රටේ හැමතැනම දකුණය. වමක් නැති රටේ දකුණට ඉමක් කමක් නැත. දකුණ පිරී ඉතිරී ගොස් ඇත. වමක් නැති රටේ මිනිසුන් වම ගැන උගත යුතු නැත. වම ගැන නූගත් මිනිසාට දකුණ ගැන ඉගනීමටද අවශ්‍යතාවයක් නැත.  වම නැති රටේ දකුණද දුබලය.වම නැති රටේ සාමන්‍ය මිනිසුන් අනාතය;  පොහොසතාගේත්, බහුතර ජාතීන්ගේත් අභිවෘධියත්, දුප්පතාගේත් සමාජ සුලුතරයන්ගේ අභාග්‍යයත් සනාථය. වම නැති රටේ වමක් සැදීමට කාලය පැමිණ ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s